Featured

සින්තෝමය ගැන වචනයක්

ජිජැකියානු දැනුම බෙදා ගැනීම සඳහා මෙම බ්ලොග් අඩවිය ආරම්භ කරන ලදී ….

 

Advertisements

සන්නිවේදන ධනවාදය සහ ප්‍රකාශනයේ නිදහස

ලිබරල් ධනවාදය අපට බොහෝ දේ සන්නිවේදනය කිරීමට අවකාශ දී ඇත. වෙනත් විදියකින් කිවහොත් පශ්චාත් ලිබරල් ආර්ථිකය විසින් නව ඩිජිටල් පොදු අවකාශයක් නිර්මාණය කර දී ඇත. ඒ සෑම අවකාශයක ම අයිතිය ආපසු හිමිවන්නේ ඩිජිටල් උපකරණ, මුහුද යට ඔප්ටික් කේබල්, ගුවන්-අභ්‍යවකාශ කැමරා, ඩිජිටල් තිර, අධි සන්නිවේදන උපකරණ, ඩිජිටල් සංඛ්‍යාත වල අයිතිය හොබවන ලිබරල් ධනවාදී වෙළඳපල ටය. මිනිසා වඩ වඩා එකතුවෙමින් සිටින්නේ මෙම ‘නව ප්‍රජාතාන්ත්‍රික අවකාශය’ වටාය. මේ අනුව සන්නිවේදන ධනවාදය (communicative Capitalism) විසින් සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සුන්නත් කර ඇත යන්න ජෝඩි ඩීන් නම් විචාරිකාව පවසයි. අද දවස වනවිට මෙම සන්නිවේදනය කොතරම් ප්‍රබලද යත් එය වාමවාදයේ සිට ආණ්ඩු පෙරළීම දක්වා ඕනෑම දෙයක් සිදුවීමේ ශක්‍යතාවයක් දක්වා අද විහිද ගොස් ඇත. කිසිවෙකුට තමා කරන්නේ කුමක්ද යන්න පිළිබදව මාලිමාවක් නැත. උදාහරණ ලෙස වේගයෙන් වෙනස්වන ෆැන්ටසි ලෝකයක අසීමිත නිදහසක් ඔස්සේ අපි යහපාලනය පෙරළීමට මුහුණු පොත ඔස්සේ එකාවන්ව එක්සිත්ව එකතුවමු. ඒ එකතුව ඔස්සේ අන්ත ජාතිවාදයක් නැවතත් අභිෂේක කිරීමට මාන බලමු. කුණු ගැටළුවේ සිට සයිටම් දක්වා ගැටළු පරාසයක්ද මේ නව සන්නිවේදකයන්ට ඒ සඳහා හමුව ඇත. මහින්දගේ මැයි රැළියේ සෙනග දැක නිර්මාල් වැනි සමහර දේශපාලන විශ්ලේෂකයින් හතර ගාතේ දමා මේ සන්නිවේදන යුගය තුළ බිමට පාත්වී ඇත. ජාතිවාදය ඉදිරියේ ධෛර්ය සම්පන්නව න්‍යායිකව නැගිටිනවා වෙනුවට නිර්මාල්ගේ හදිසි තත්‍යසමාන සන්නිවේදනය ගැඹුරු මෙලන්කොලික බවක් ජනනය කරයි. මෙවන් තීරණාත්මක අවස්ථාවල අපට අවශ්‍ය ජවසම්පන්න මාක්ස්වාදී බුද්ධිමතුන් මිස සෙනග දැක මළානික වන මෙවන් ‘විරාගයේ’ අරවින්ද වන් පරාජිතයින් නොවේ.  මොනතරම් අවුල් වියවුල් තිබුණත් යහපාලනය තවමත් ජාතිවාදය විසින් ගිලගෙන නැත. ගිලගැනීමට හැදුවත් එයට තවමත් හෘද සාක්ෂියක් ඇත (යහපාලන ආගමනය යනු ඊජිප්තුවේ අරගලය මෙන් අසාර්ථක එකක් නොවේ). මේ යුගයේ ධනවාදය අපව පොළඹවන්නේ සන්නිවේදනය දෙසටය. එවිට අප වටේ ඇති ආචාර ධාර්මික අන්තර්ගතය අපට ඩේවිඩ් ලින්ච් ගේ Blue Velvet (1986) චිත්‍රපටයේ මෙන් අමතක වී යයි. කළුවර කාමරයක අශ්ලීල සන්නිවේදනයක සිටින අපට අශ්ලීල බවේ තීව්ර බව විසින් සදාචාරය අමතක කරවනු ලබයි. දඩි බිඩියේ අප යමක් සන්නිවේදනය කිරීමට පෙර ඒ ගැන සිතිය යුතුය.  ජාතිවාදයේ පරාජය සහ ප්‍රබුද්ධ බවේ ජයග්‍රහණය ප්‍රර්ථනා කරන තවත් මිලියන ගණනක් වූ ප්‍රගතිශීලි මිනිසුන් වෙනුවෙන් නිර්මාල් සහ නිර්මාල් ගේ ප්‍රකාශ උපුටා දක්වන ජන මාධ්‍ය වග කියන්නේ කෙසේද?  සන්නිවේදන අන්තර්ගතය (communicative content) සත්‍ය ලෙසම සන්නිවේදනය වන්නේද නැත්නම් එය සේවය කරන්නේ වෙනත් ජාතිවාදී කොටසක අනාගත යහපත සඳහාද යන්න අප සන්නිවේදනය කිරීමට පෙර සිතිය යුතු නොවේද? අදහස් පැතිරවීම මෙම මුහුණු පොත් යුගය තුළ ඉතා පහසු බව නිර්මාල් හොදින් දනී. නමුත් අදහස පැතිර ගියාට (circulation of views) සිදුවන දෙයක් නැත යන්න ඉරාක යුද්ධයේදී ජෝර්ජ් බුෂ් විසින් ලෝකයට කියාදුන් පාඩමයි. සන්නිවේදන යුගය තුළ බුෂ්ට අනුව යුධ විරෝධී අදහසක් යනු තවත් බොහෝ අදහස් අතර තවත් එක අදහසකි. තත්‍ය සමාන අවකාශයේ මිලියන ගණනක් වූ ටෙරා බයිට් අතර තැන්පතු වූ තවත් එක අදහසක් නිර්මාල් දක්වා ඇත (කියවන්න ජෝඩි ඩීන් ගේ Communicative Capitalism:Circulation and the Foreclosure of Politics හි 52 පිටුව). යම් සමාජ කොටසක යුධ විරෝධී අදහස් මගින් බුෂ් ගේ ඉරාක ආක්‍රමණය නැවතුණේ නැත (අප මොන අදහස දැරුවද මහින්ද රෙජීමය යුද්ධය අතහළේ නැත). ඒ මගින් අඩුම තරමේ සංවාදයක් වත් මතුවුනේ නැත. යුද්ධය දිගටම ගලාගිය අතර සමුහ ඝාතක අවි කිසිවක් ඇමෙරිකාව සොයගත්තේද නැත.  නිර්මාල් පන්නයේ මෙම නිර්දේශපාලනික අදහස් වහ වහා පැතිරෙනු ඇති අතර ඒ ඔස්සේ නැවතත් මහින්දවාදීන් බලයට ගෙනෙනු ඇත (නිර්මාල්ගේ අදහස් නිසාම මහින්ද බලයට එන බවක් මින් අදහස් නොකෙරේ). පැවැත්ම වෙනුවෙන් අලුත් අලුත් සමාජ ෆැන්ටසි සොයමින් යන මෙම මාධ්‍ය සංඥා යුද්ධය තුල යහපත් අනාගතයක් වෙනුවෙන් සිතන්නවුන් නොපෙනී යනු ඇත. දේශපාලනයෙන් වියුක්තව කරන මෙම (නො) සන්නිවේදනය තුල අප නැවත වරක් මෝඩයන් විය යුතුද?

මීතොටමුල්ල: කුණු කන්ද ගිණි කන්දක් වීම

නැවත වරක් බරපතල පරිසර ව්‍යසනයක් හමුවේ ලිබරල් රාජ්‍යය කොතරම් නොසුදානම් ද; කොතරම් නොපොහොසත් ද යන්න ඔප්පු කරන අවස්ථාවක් තමයි මීතොටමුල්ලේ පෙරේදා වෙච්ච් විනාශය. කෙළවරක් නැති පරිභෝජනයකට මෙම නපුංසක ලිබරල් රාජ්‍යය උල්පන්දම් දෙන ගමන් එම අසීමිත පර්භෝජනය කෙලවර තියෙන කුණු සම්භන්දයෙන් එම ලිබරල් වාදීන්ට උත්තර නැහැ. මීතොටමුල්ලේ මිනිස්සු වගේම අධි-පරිභෝජනයේ ඉන්න හැම කෙනෙක්ම නිකමනට වත් ‘අපි අල්පේච්ච වෙමු’ කියන්නේ නැහැ වැරදිලාවත්. සමස්තය ගැන හිතල අඩුවෙන් පරිභෝජනය කරන්න බලන්නේ නැහැ. මම කියන්නේ මේ ‘ඉවතලන කුණු’ (waste capitalism) සහ ‘ඉවතලන මනුෂ්‍යත්වය’ (wasted humanity) යන දෙකම මෙම අමානුෂික ලිබරල්වාදීන්ට දෙකක් නෙවි එකක්. පරිධියේ රටවල ‘මිනිසුන්’ කුණු වගේම ඉවත හලලා තියෙන්නේ (ඒ අය තවදුරටත් මිනිසුන් නොවේ). එහෙම කියන්නේ කීර්තිමත් සමාජ විද්‍යාඥයෙක් වන සිග්මන් බර්මන්. දැන් තියෙන්නේ තව ‘තාප්පයක්’ දකුණු ආසියාව වටාත් ඉදිකරන එක. ටික කාලෙකට පෙර දුෂණය වුන සේයා සදෙව්මි දැරිය (දැන් කාටවත් මතක නැහැ) සහ ඒකට සම්බන්ද කොණ්ඩයා (යන්තම් මතකයි) කියන්නේ මෙම ඉවතහළ මනුෂ්‍යත්වය පිළිබද උදාහරණ (වැඩිදුර කියවන්න සේයා, කොණ්ඩයා සහ ඉවතහළ මනුෂ්‍යත්වය). රතුපස්වල වගේම සාලාව එතනින් එහාට ගියපුවාම මීතොටමුල්ලත් එම ඉවතහළ පරිධියේ මිනිසුන්. මේ කතාව දිගට ගියාම සමස්ත දකුණු ආසියාවම එහෙමයි.  අපිට හිමිකම තියෙන්නේ බෝම්බ- මිසයිල් වලට දිනපතා ඉලක්ක වෙන එකට  විතරයි. අපි අධිරාජ්‍යට එරෙහිව සටන් කරන්න පටන් ගත්තොත් අපි නිකම්ම් ත්‍රස්තවාදීන් වෙනවා.

ඩොනල්ඩ් ට්‍රුම්ප් ලට විතරක් නෙවි කුණු ගඳ ගහන්නේ නැතුව ජිවත් වෙන්න අපි හැමෝට ම අයිතියක් තියෙනව. මේ මියගිය මීතොටමුල්ලේ මිනිස්සු අධි සැර ජල පහරවල් කාගෙන කිව්වේ මෙම ප්‍රශ්නය තමයි. එකත් රතුපස්වල වගේම තමයි. අපේ ජනාධිපතිට මතක නෑ එයා පරිසර ඇමති කියල. සෘජු තීරණ එයා ගත යුතුයි කියල.  නාය ගිය අරණායක ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ (රාජ්‍ය නිලධාරීන් බල්ලට වැඩක් නැහැ. ශක්තිමත් රාජ්‍ය පාලකයෙක් විසින් ඉලක්ක ලබා දෙන්නේ නැති නිසා කාටවත් මොනවා කරන්නද කියල වගේ වගක් නැහැ. ඒ කියන්නේ සුදු ස්වාමියා හැරගිය පශ්චාත් යටත්විජිත රටක ‘ස්වාමි හැඟවූමක්’ නැහැ කියලත් කියන්න පුළුවන්. විශ්වීය අයුරකින් ක්‍රියාත්මක වෙන්න බැරි හේතුව තමයි කිසිවකුගේ ‘ස්වාමි නිරීක්ෂය’ අවශ්‍යයි අපි වගේ පසු-යටත් විජිත වලට). මෙම නපුංසක අමානුෂික බවේ ආරම්භය කොතනද කියන එක හැමෝම දන්නවා එත් නොදන්නවා වගේ ඉන්නවා. නමුත් පාලකයන් මතක තබා ගත යුතු එක දෙයක් තියෙනව. ඒ තමයි අක්‍රිය බව සක්‍රිය වෙන නිමේශයක් යම් මොහොතක උදාවෙනවා කියන එක. ඒ කියන්නේ මේ ප්‍රශ්න නම් ‘කුණු’ අන්තිමට ගිනි කන්දක් දක්වා ගමන් කරනවා. හැබැයි පාලක කරුමක්කාරයෝ දැනගත යුතුයි ගිණි කන්දක් කියන්නේ සක්‍රිය වියහැකි දෙයක් කියල. කුණු කඳු වුනත් මීතේන් වගේ වායු නිසා පුපුරලා යනවා. ජන මාධ්‍ය වලින් මේවා වහල දැම්මට හැමදාම එහෙම රවටන්න බැහැ. ජන මාධ්‍ය අල්ලාගෙන ටික දවසකට දේවල් මග අරින්න පුළුවන් තමයි (අරය කියනව මෙයා වැරදියි කියල, මෙයා කියනවා අරය වැරදියි කියල. හැමදාම ප්‍රශ්නය එතනමයි). එත් එක මොහොතක සියල්ල පුපුරා යාමට නියමිතයි. එතකොට එකත් ගිණි කන්දක් වගේ තමා. වතුර ගහල නිමන්න බැහැ…

සිදුවීමට පසු කරන්නේ කුමක්ද?

බොහෝ ක්‍රියාකාරී වමේ දේශපාලනය විසින් සිහිතබා ගත යුතු තත්වය නම් කෙසේ හෝ ලිබරල් පාලකයන් එලවා දැමිය හැකි වුවත් ඉන් පසුව කරන්නේ කුමක්ද යන්නය…

මුගාබේ නොවී මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කිරීම…

මුගාබේ (මහින්ද රාජපක්ෂ) නොවී මැන්ඩෙලා  (මෛත්‍රිපාල සිරිසේන) ගෙන් ඔබ්බට ගමන් කිරීම අද දවසේ බරපතලම දේශපාලන අභියෝගයක් කියන එක ස්ලවොයි ජිජැක් ගේ Beyond Mandela without Becoming Mugabe දේශනය ඇහුවම ඕනිම කෙනෙකුට අවබෝධ කරගත හැකියි. ඒ කියන්නේ ධනවාදයේ පසු-නුතන බහු-සංස්කෘතිකවාදයට නොවැටී නුතනත්වය තුල ම ඉදිරියට යන එක දුෂ්කර ක්‍රියාවක් කියන එක.  ජිජැක් එම දේශනයේදී කියන්නේ මේ වගේ දෙයක්. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) දකුණු අප්‍රිකාවේ මැතිවරණය ජයග්‍රහණය කලා වගේම මැන්ඩෙලා නිදහස් කර ගත්ත. ඒ කියන්නේ අරගලය යේ ජයග්‍රහණය නම් නිමේෂය ඔවුන්ට හමුවුණා. නමුත් එම සිද්ධියට පසුව සිදුවූ දෙය තමයි අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ගෝලීය ධනවාදයේ කොන්දේසි බාර ගත්ත එක. නමුත් කල යුත්තේ එම කොන්දේසි වලින් ඔබ්බට ගමන් කරන එක ධනවාදය අපේ සිතිජය කරගන්නේ නැතුව. නමුත් මුගාබේ කලේ අතීතකාමී විදියට අනන්‍යතා දේශපාලනයකට පසු බසින එක මහින්ද වගේ.  අපි අරගල කරන්න ඕනි ජයග්‍රහණයට පසුදා කරන දෙයට සුදානම් වෙමින්. නැත්නම් වෙන්නේ මුගාබේට වුන එක. යහපාලනය කියන්නෙත් මෙවැනිම නො-සුදානමේ ප්‍රථිපලයක්.  මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කරන්න ගොඩක් ශක්තිය ඕනි. එම ශක්තිය යහපාලන කට්ටියට නැහැ කියල පේනවා ධනවාදය ඉදිරියේ කොදු කඩාගන්න එක දිහා බලපුවම.  අනික ගාන්ධි, මැන්ඩෙලා වගේ අරගලකාරී ශරීර කූඩු මේ අයට නැහැ. මිට අමතරව තවත් වැදගත් ප්‍රපංචයක් තියෙනව. ඒ තමයි අපේ ලාංකික සමාජයේ ස්ත්‍රියගේ කාර්ය භාරය කියන එක අර්ථකතනය කරගැනීමට පිරිමියා දක්වන සමාජීය නොහැකියාව. එම පසුගාමී තත්වය විසින් නිෂ්පාදනය කරන්නෙම පසුගාමී භින්න පිරිමි ශරීර.  ඒ කියන්නේ අපි වගේ රටවල ගැහැනුන් විසින් සමාජගත කරන්නේ බිඳුන මුගාබේ ටත් වඩා අන්තවාදී (ජාතිවාදී) පිරිමි චරිත.මැන්ඩෙලා ල වගේ අය අඩු තරමින් මධ්‍යම පන්තිය නම් තත්වය තුලින් වත් බිහිවෙන්නේ නැහැ. වැඩියෙන්ම බිහිවෙන්නේ විමල්, මහින්ද, ගම්මන්පිල වගේ භින්නොන්මාදි චරිත. මේ තත්වයට වග කියන්න ඕනිත් වෙන කවුරුවත් නෙවි ඉතින් පිරිමි භාවිතයම තමයි.

මැන්ඩෙලාගේ චරිත කතාව ගැන කියවෙන Mandela: Long Walk to Freedom (2013) කියන චිත්‍රපටය බලනකොට පෙනෙන දෙයක් තමයි මැන්ඩෙලාගෙ සහ ANC එකේ අරගලය පිටුපස විනී මැන්ඩෙලා කියන ඉතාමත් ම ශක්තිමත් කාන්තාව සිටියා කියන එක.  ගාන්ධි චිත්‍රපටය දිහා බලපුවමත් එක පැහැදිලි ව පෙනෙන දෙයක්.  ගාන්ධිගෙ බිරිඳ කියන්නෙ අද කාලයේ ස්ත්‍රීවාදින් වගේ නොවෙන බව එයාගෙ පහත ප්‍රකාශයෙන් පෙනෙනව.  එයා කියන්නේ ‘මගේ ගරුත්වය රඳා පවතින්නේ මගේ ස්වාමියාගේ පිටුපසින් යෑම තුලයි’ කියල. එම ප්‍රකාශය තුල ඇය කියන්නේ විමුක්තිය තියෙන්නේ පුරුෂ භාවිතාව ඇතුලෙ ම තිබුන සාර්වත්‍රික අරගලය සමග එකගවීම කියල කියන්න පුළුවන්.  ඒ වගේම විනී මැන්ඩෙලා වුනත් ‘නව ස්ත්‍රී අනන්‍යතාවයක්’ හදනවා වෙනුවට කළේ නෙල්සන් මැන්ඩෙලා සිරගත කළාට පසුව අරගලයේ බර කරට ගන්න එක.  මේ දේම ගාන්ධිගේ ආර්යාව (කස්තුර්බා ගාන්ධි) විසිනුත් කළා.  ගාන්ධි සිරගත වුණු සෑම අවස්ථාවක ම ඉන්දියානුවන් තම විශ්වාසය ප්‍රක්ෂේපණය කළේ ඔහුගේ ම ශරීරයේ අනෙක් පලුව වුණ ගාන්ධි ආර්යාව වෙත.  විනීටත් සිදුවුනේ නව අනන්‍යතා හොයනවා වෙනුවට මැන්ඩෙලාගේ සාන්දෘෂ්ටික අරගලය තුලට තව තවත් පිය මැනීමට තරම් එඩිතර විම.  නමුත් මැන්ඩෙලා චිත්‍රපටයට අනුව ඔහුගේ ප්‍රථම බිරිඳට මැන්ඩෙලාගේ ‘ඓතිහාසික බර’ තුලට ගමන් කිරීමට තරම් ශක්තියක් තිබුණේ නැහැ කියන එක ඔහු සමඟ වීදියේ අරගලයේ ටිකක් දුර ගමන් කරල පසුබසින එකෙන් පේනව. මේ ප්‍රශ්නය ම තමයි සමකාලින ස්ත්‍රී වාදයේ ගැටලුවත්.

එක් අතකට ඉහත සඳහන්  ගැහැණු චරිත ‘මායාවක්’ නොවෙනවා වගේම (වසඟය නැති නිසා) එම පිරිමින්ගේ ඓතිහාසික කාර්යභාරය ඇතුලට එන්න තරම් කැපවීමක් තිබුණ අය කියල අප අමතක කරන්න හොඳ නැහැ.  අනෙක් අතට අපේ රටේ ශක්තිමත් අවංක සහ දුෂණයෙන් තොර පිරිමි බිහිවීම සඳහා එවන් ශක්තිමත් ආචාරවාදී ගැහැණුන්ගේ පරාවර්තනය (reflection)ලැබිලත් නැහැ.  මෙතැනදි තමයි රොහාන් පෙරේරා කියන විචාරකයා කියන ‘අරගලය කරන්න කලින් ස්ත්‍රිය නිෂ්පාදනය කර ගන්න ශ්‍රී ලාංකික බෞද්ධ අපිට සිදුවෙනවා’ කියන කරුණ ඉතා වැදගත් වන්නේ.  අපේ ගැහැණිය තාමත් කැමති මහින්ද රාජපක්ෂ වගේ දුෂිත ඒකාධිපති පාලකයන්ට.  ඔවුන් සවන් දෙන්නේ ඉතිහාසයේ හඬට නැත්නම් පාරිබෝගික ධනවාදයේ හඬට. හැම ගැහැණියක්ම එහෙම නොවුනත් බහුතර ස්ත්‍රී ෆැල්ලසය තුලින් ඉල්ලන්නේ ඉහත වර්ගයේ පිරිමි ශරීර කියන එක දිගින් දිගටම ලාංකික බෞද්ධ ස්ත්‍රීය ඔප්පු කරමින් සිටින දෙයක්.  නාගරික නිර්-බෞද්ධ නිරික්ෂයක් (gaze) ඇතුලේ රොහාන් මෙහෙම කියනවා; ‘ස්ත්‍රීවාදය ආවේණිකව පැරණි සමාජය ට අයිතියි.  අවශ්‍ය වන්නේ පුරුෂවාදයක්’ (ස්ත්‍රී පාරභෞතිකවාදය; ප්‍රවාද 1995 ජුනි: 117).  ඔහු කියන්නේ ‘සංසර්ග කේන්ද්‍රීය’ ස්ත්‍රිය වෙනුවට ‘සමාජ ස්ත්‍රියක්’ (විනි මැන්ඩෙලා සහ ගාන්ධි ආර්යාව) අපි නිර්මාණය කර ගන්න ඕනි කියන එක. ඔහු තවදුරටත් මෙහෙම කියනව,
‘සමාජය තරම් විශාල ගැහැණු අවකාශය ස්ත්‍රීවාදය තරම් පුංචි කරන්න නෙමෙයි අපි දඟලන්න ඕනි.  අපි කරන්න ඕනි දේවල් අනිත් පැත්තට හරවන එකයි’

(එම පිටුව 117)

මෙතනදී වෙන්නේ ගෙදරට කොටු කරලා සංසර්ගය සඳහා ස්ත්‍රිය ‘සුදානම් කරනවා’ හැරුණාම ඇයට වෙනත් පැවැත්මක් දීමට පුරුෂ ලෝකයට හෝ අද්‍යතන පිරිමියාට හැකියාවක් නැති බවයි.  අපි කරල තියෙන්නේ ‘අනේකත්වය’ සංසර්ගයට කොටු කිරීම කියලයි රොහාන් පැහැදිලිව කියන්නේ (මෙතැනදී රොහාන් බටහිර ෆ්‍රොයිඩියානු සංසර්ග කේන්ද්‍රීය බවෙන් ඛණ්ඩනය වෙනවා පමණක් නොවෙයි පුරුෂ ලෝකය තුල හදල තියෙන ‘සංසර්ග ආකෘති’ පවා දෘඪ ලෙස විවේචනය කරනවා). මේ තත්වය තේරුම් අරගත්ත ගාන්ධි කියන්නේ තම බිරිඳට ‘යෙහෙලියක්’ වන ලෙසයි. එනම් සාමාජීය අනේකත්වයක් ඔහුගේ අරගලයේ සිමා මායිම් තුල සිටිමින් ම තම ‘සමාජීය පවුල’ (මෙතනදී මතක් වෙන්නේ ඕෂෝ) තුල නිර්මාණය කර ගැනීමට උත්සාහ කිරීමයි කියන එක රොහාන් පෙරේරා ට වඩා ගොඩක් ලෝකේ අය දන්න අරුන්දතී රෝයී ට තේරෙන්නේ නැත්තේ ඒකයි. අපේ රටේ අයට රොහාන් පෙරේරා පොඩි යි, අරුන්දතී ගොඩක් ලොකුයි. ජුඩිත් බට්ලර් ඊටත් වඩා ලොකුයි. නමුත් ඇත්ත සමාජය තේරුම් ගතහැකි දාර්ශනික තලය තියෙන්නේ රොහාන් තුලයි. විසංයෝජනය අද දවසේ ටිකක් පැරණි දෙයක් වුනත් දේවල් විප්ලවීය විදියට තේරුම් ගන්න අවුරුදු විස්සකට පස්සෙත් ඒකයි අපට රොහාන්ව උපකාරී වෙන්නේ (අපිට අරගලය ඇතුලෙදි අතහැරිය හැකි කිසිවක්, කිසිම දර්ශනවාදයක්, කිසිම දර්ශනවාදියෙක්  නැහැ කියල දැන් තේරෙන්න ඕනි).  රොහාන් ඉහත ගාන්ධියානු යෙහෙලිය නම් ප්‍රවාදය සම්බන්දයෙන් අදාල කර ගත හැකි ලෙස මෙහෙම කියනවා;

‘ලිංගික අසහනය නිසා තමන්ගේ ලෝකයේ ප්‍රේමය
බිලිදෙන එක නොදන්න පුරුෂ ශරීරවලට සමානුපාතිකව, දේපල නිසා තමන්ගේ ශරීරය බිලිදෙන එක ගැහැණු ශරීර දන්නේ නැහැ’

(පිටුව 113)

රොහාන් හදන්නේ වෙළඳපල කතිකාවේ ලිංගික අසහනයෙන් පිරිමි ලෝකය මුදවා ගන්න සහ පුරුෂ අනේකත්වය (ගැහැණිය) සමාජීය කරන්න. ධනවාදය ඉදිරියට ගමන් කරන්නේ ලිංගික අසහනය ත්‍රීව්ර කිරීම ඇතුලේ (නිල් චිත්‍රපට හොඳ උදාහරණයක්). සම්බන්දතා ලිංගික කරණය කිරීම ඇතුලේ. ඒ නිසා ස්ත්‍රී වාදයට ලොකු ඉල්ලුමක් ඇතිවෙනවා ධනවාදයේ ‘බටහිර- පිරිමි- ෆ්‍රොයිඩියානු- ලිංගික ආකෘතිය’ ඇතුලේ (ඉන්දියාවේ ඇන්ටි රෝමියෝ වගේ සංවිදාන මීට උදාහරණයක්). ඒ නිසා ධනවාදය කැමතියි ස්ත්‍රීවාදය වගේ අනන්‍යතා ව්‍යාපාර වලට. එකත් එක්ක වෙළඳපල හොදට පෑහෙනවා (අල්පේච්ච බව පෑහෙන්නේ නැහැ. ඒ නිසා ඒක තර්ජනයක්).  නමුත් මෙම ‘නව සමාජීය ගැහැණිය’ විසින් ඇත්ත වශයෙන් අනන්‍යතා ස්ත්‍රීවාදයක් මතුවීම වලක්වා දමනව. හැමෝම සමාජීය අවකාශයකට ගමන් කරනව පවත්නා ආර්ථක ක්‍රමය කුමක් වුණත්.  අපිට ධනේශ්වර ක්‍රමය පරාජය කරල නිපදවන්න ඕනෙත් ඉහත ‘රොහානියානු සමාජීය ගැහැණිය’ කියලයි මට හිතෙන්නෙ.

ධනවාදය ඇතුලේ සාර්වත්‍රික දේවල් කරන එක සිහිනයක් වගේ (අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය). ඒ නිසා ඇමෙරිකාව වගේ රටකට ඒක සිතාගත නොහැකි ක්ෂිතියක්. ඔවුන් දන්නේ වෙළදපල ප්‍රසාරණය කරගන්න හැටි විතරයි. ඒ සඳහා හොදම මිනිහ තමයි ඔවුන්ට අනුව ට්‍රුම්ප් කියන්නේ. ධනවාදයෙන් ගැලවෙනවා කියන එක සිතාගත නොහැකි ඔවුන්ට එම ධනවාදය වෙනුවෙන් ලෝක යුද්ධයක පැටලෙනවා කියන එක පහසුවෙන් සිතාගත හැකියි. ඒ වෙනුවෙන් ඕනෙම තරම් මිසයිල් ගණනක් ඕනෙම රටකට එල්ල කරන්න ඔවුන් සුදානම්. මෙවන් සන්දර්භයක් ඇතුලේ අප්‍රිකානු කොන්ග්‍රසය ට පවා සිදුවෙන්නේ මෙම ධනවාදයේ ඛණ්ඩාංක තුල සිරවෙන්න. මොන පොරොන්දු දුන්නත් යහපාලනයත් ඒ වගේම සිරගත විමක ඉන්නේ.  ඉතින් ඇත්ත තත්වය තමයි මැන්ඩෙලා පවා  සිරගත වුන ධනවාදයේ ක්ෂිතිජයෙන් ඔබ්බට යන එක…ඒ වගේම ගෝලීය ධනවාදය පරිණාමය වෙත විපරීත ආකෘතිය ගැන මෙලෝ දෙයක අවබෝධයක් නැති යහපාලන ආණ්ඩුවෙන් බටහිර කේන්ද්‍රීය ආශා මොඩලය අනික් පැත්තට හරවයි කියල අපට හිතන්න බැහැ.  ඉතිං මනුෂ්‍ය තෘප්තිය සඳහා ඔවුන්ට කළ හැකි උපරිම දෙය නම් බටහිරින් හරි, චීනෙන් හරි, ඉන්දියාවෙන් හරි පුළුවන් තරම් විනෝද පාරිිභෝගික භාණ්ඩ ලංකාවේ වෙළඳපොල තුල ගොඩ ගහන එක.  ඒ ඔස්සේ අවුරුදු කාලෙට හාල් හරි, පොල් හරි, පරිප්පු, හාල්මැස්සෝ වගේ දේවල් වල ගණන් ටිකක් අඩු කරන එක.  දැන් හරි.  රනිල්ගෙ, රවිගෙ මොලයට අනුව දැන් ‘ජනතාව’ තෘප්තිමත්. හාල් පොල් වගේ ද මොබයිල් ෆොන්, වයි ෆයි, ඉන්ටනෙට් ඩේටා වගේ දේවලත් මිල අඩු කලොත් හොඳයි කියල රනිල්ගේ චුයින්ගම් මොලයට තේරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.  විසි වන සියවසේ භාණ්ඩ වලට සහ එම ද්‍රව්‍යවාදයට මිනිසා සුවපත් කරන්න බෑ කියල ගාන්ධි කියනවා (එත් මිනිසා ‘තෘප්තිමත්’ නැහැ. භෞතික දේවල් කොච්චර දුන්නත් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය ඇදගෙන වැටුණා). එතකොට මිෂෙල් ෆුකෝ ගැන රොහාන් මෙහෙම ලියනව;
‘හැබැයි එයාට (ෆුකෝට) සිද්ධ වුණු දේ ඊට හාත්පසින් ම වෙනස්.  එයා ලිංගිකත්වයේ ඉතිහාසය හොයන්න වෙහෙසුනේ ‘අපි කවුද’ කියල හොයා ගන්න.  ආශාව විශ්ලේෂණය කරන එක ගැන එයා විවේචනය කලේ, ‘තෘප්තිය ගොඩ නැඟීම කේන්ද්‍ර කර ගත යුතුයි’ කියා ගෙන මිනිස් ජීවිතයේ කේන්ද්‍රීය තත්වයක් (සත්‍යයක්) හැටියට ලිංගිකත්වය භාර ගත්ත නිසයි ෆුකෝ අපි කවුද කියලා හොයා ගන්න ලිංගිකත්වය විෂය කර ගත්තේ. ආසියාවේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා අපි කව්ද කියලා හෙවීමේ.  ඒ වුනත් එතැන ලිංගිකත්වය යතුරක් නොවෙයි’ (ඉහත පිටුව 103).

මීට අමරතව රොහාන් පෙරේරා විසින් නිරීක්ෂණය කරන දෙයක් තමයි ෆුකෝ ගේ ප්‍රවේශය තනිකරම බටහිර වාදියි කියන එක.  ‘අනික ජීවිතය ගැන කතා කරන්න තෘප්තිය භාවිතා කළ ගමන් ආයෙමත් එතැන යතුර ලිංගිකත්වයම යි. සංසර්ගයෙන් දේවල් හොයන බයිබල් සම්ප්‍රදාය මතක් වෙනවා’ (105). මෙම අර්ථයෙන් ගත්තහම රොහාන් පෙරේරා ‘බටහිර ආශාව’ කියන එක පෙරදිග අර්ථයෙන් ප්‍රථම වරට විසංයෝජනය කරනවා. ඒ අර්ථයෙන්ම සුරතාන්තය කියන එක පෙරදිගකරණය කරනවා බටහිර විනිවිදීම වෙනුවට. සංසර්ග කේන්ද්‍රීය බටහිර පුරුෂ බව මතු නොව පෙරදිග කාම සුත්‍රය පවා සුත්තර පුංචා තත්වයට විවේචනය කරනවා. නමුත් ජිජැක්ට අනුව (ලැකාන් හා ෆ්‍රොයිඩ් පදනම් කර ගනිමින්) ‘විනිවිදිම’ ප්‍රතික්ෂේප කිරීම තුලින් ආශාවට ඇඳ වැටීම සහ ක්ෂිතිය මුණ ගැසීම මඟ හැරිමක් සනිටුහන් වෙනව.  ගැහැණිය නම් ‘කළු කුහරය ට’ ඇතුල්විම ප්‍රතික්ෂේප කිරීම මඟින් එම විනිවිදිමෙන් පසු ඇතිවන ‘හිස්බව’ වෙතින් අප පලායෑමක් මෙහිදී නිශ්චය වෙනව. ‘ආශාව’ ව්‍යුහගත වන්නේ ම මෙම හිස් කලු කුහරය වටා (ජිජැක් 1994: පිටුව 96). අප ආශා කරන්නේ මෙම ආශා කළු කුහරය හරහා යන්න. එම ක්ෂිතිය තරණය කරන්න. මෙය ෆ්‍රොයිඩියානු බටහිර අභිනයක් බව සත්‍යයක්. අප මෙම ආශාව තරණය කිරීම මග හැරියොත් මොකද වෙන්නේ? යම් නිශ්චිත භෞතික ආශාවක් තෘප්තිමත් කර ගැනීම වෙනුවෙන් වු ලිබිඩෝ ශක්තිය ආශාව හා සම්බන්දයක් නැති ‘වස්තුවක්’ වෙත ප්‍රක්ෂේපණය කිරීමට අපට (පිරිමියාට) සිදු වෙනව. (හින්දි චිත්‍රපටවල වගේ හැමදාම ගස් වටේ කැරකි කැරකි නටන්න වෙන්නේ මේ නිසා). රොහාන්ගේ පෙරදිග විචාරයේ තියෙන මෙම බටහිර-ආශා ප්‍රතිවිරෝධතාව (පිරිමි අර්ථයෙන්) විසඳා ගත්තොත් එය විප්ලවීයකරණය කළ හැකියි. නැත්නම් බිහිවන්නේ ආශාව විනිවිදය නොහැකි සින්තෝමයක්. රොහාන් කියන්නේ මෙම ලිංගික ඇසින් ආශා වස්තුව දෙස නොබලන අනේකත්වයක් ගැන. ආශාව ඉවත් කරපු අනේකත්වයක් ගැන. පෙරදිග අර්ථයෙන් එයට ලොකු ශක්තියක් තියෙනව. මක්නිසාද පෙරදිග ලෝකයේ වගේම බටහිර ලෝකයේත් උත්තරීතර මිනිසුන් බිහිවෙලා තියෙන්නේ ‘ආශාව’ ඇතුලේ නෙවෙයි ‘වේදනාව’ ඇතුලේ (මේ ප්‍රවාදය රොහාන් එතරම් ඉස්මතු කරන්නේ නෑ). ගාන්ධි, මැන්ඩෙලා, බුදුන් වහන්සේ, ජෛන මහාවීර, යේසුස් වහන්සේ… තව ඕනෙතරම් උදාහරණ තියෙනවා. උත්තරීතර මනුෂ්‍යත්වයකට, මෙම ආශාව හඹා යාමේ ලිබිඩෝ ශක්තිය ‘උත්කෘෂ්ඨ යමක්’ (Sublime Object) වෙනුවෙන් වැය කල හැකිනම් එය වඩාත් වැදගත් විය හැකි නොවේ ද?

පෙරේරා, රොහාන්. (1995). ස්ත්‍රී පාරභෞතිකවාදය. (ප්‍රවාද 1995: ජුනි කලාපය). සමාජ විද්‍යාඥයින්ගේ සංගමය.
Zizek, S. (1994). The Metastases of Enjoyment. Six Essays on Woman and Causality. London. Verso.

පසුව ලියමි: ආසියාතික ගැහැණිය විශේෂයෙන් ලාංකික බෞද්ධ ගැහැණිය විප්ලවීය නොකළ නිසා රෝහණ විජේවීර සහෝදරයා ට චිත්‍රාංගනී නම් තම බිරිද ගෙන් ලැබුනේ අනුමෙවෙනි පමණකි. දෝෂාරෝපණ පමණි. මැන්ඩෙලා හෝ ගාන්ධි සම්බන්දයෙන් ඔවුන්ගේ ස්ත්‍රීන් එසේ අනුමෙවෙනි කියනු අපට ඇසී නැත. එසේනම් ලංකික ගැහැණිය පිළිබද දාර්ශනික පරමාණුව රොහාන් පෙරේරා විසින් 88-89 සංහාරයෙන් පසුව සොයාගෙන තිබියදී X කණ්ඩායම ට වරදින්නේ ඇයි? ඒ බුද්ධිමය කුසීත කම නිසාද? නැත්නම් නොසැලකිල්ල නිසාද? නැත්නම් නරුමවාදය නිසාද? මේ එකක් හෝ සියල්ලම නිසා එසේ සිදු නොවන්නට ජ. වි. පෙ. ‘විප්ලවීය උරුමය’ X කණ්ඩායම විසින් ප්‍රතිජිවනය කිරීම රොහාන් හරහා සිදුවීමට ඉඩ තිබුණි.  එවිට එය අප සැමගේම උරුමය යි.

මහේෂ් හපුගොඩ

රොහාන් පෙරේරා වෙනුවෙන් පශ්චාත් X සටහනක්…

කොළඹ දී සාමාන්‍යයෙන් පවත් වන සාහිත්‍ය-දේශපාලන සමාජවල කතිකා අවකාශයට මම අලුත්. ඒ නිසා ඒවායේ කතාවෙන දේවල් වලටත් මම අලුත්. මෑතකදී මට ඇහුන බොහෝ කතාබහ ඇතුලේ මට දැනුනු එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ පරම්පරාව ට (විශේෂයෙන් 70 දශකයේ ඉපදුන සහ 88-89 කැරළි අත්දුටුව) මොනවා හරි ‘නුතනත්වයට පසු’ දැනුමක් ලැබුණානම් ඒ ලැබීම පිටුපස රොහාන් පෙරේරා කියල (මම ඇත්තට ම නොදන්නා) චරිතයක් ඉදල තියෙනව කියන එක. බටහිර තියෙන්නේ සමාජ ව්‍යාපාර සහ ඒ ඔස්සේ එන ගුරුකුල. ඒ ඔස්සේ සුවිශේෂ බිහිවෙනවා. එම සුවිශේෂ විසින් ඔවුන්ව නිෂ්පාදනය කල සමාජ ව්‍යාපාරය එක්කෝ පොහොසත් කරනවා නැත්නම් එය ම අභියෝගයට ලක්කරනවා. නමුත් රොහාන් කියන්නේ සමාජ ව්‍යාපාර (විශේෂයෙන් ජ. වි. පෙ.) මියගියාට පසු ආපු කෙනෙක්. සියලු සමාජීය බලාපොරොත්තු ‘අහිමි’ (loss) වුනාට පස්සේ ආපු කෙනෙක්. නමුත් ඔහු එම දැවැන්ත අහිමි විම ඇතුලෙ ම යමක් කරන එක අත් ඇරියේ නැහැ කියල තේරෙනවා ඔහු නිෂ්පාදනය කරපු පුද්ගල චරිත දිහා බලපුවම. එම මියයාමෙන් පසු පැමිණෙන ඔහු සුවිශේෂ චරිතයක් වැඩිය එලියට නොඑන. ටිකක් ගුප්ත (mysterious) බවක් තියෙනවා ඔහුගේ අභිනය ඇතුලේ. සමහර විට එම ලාංකික ‘අහිමි වීම’ ඔහුට බලපාපු හැටි වෙන්න ඇති. නමුත් වැදගත් වෙන්නේ එම සංහාරයට පසු (after the Event) ඔහු කරපු දේ. එලියට ආවේ නැති වුනාට ඔහු විසින් ලංකාවේ සුවිශේෂ ගොඩක් මිනිස්සු මේ විදියට (ගුප්ත) අඳුර ඇතුලෙ ම බිහිකරලා තියෙනවා. ඒ අය සමාජයේ ලොකු සංකේතිය බලයක් එක්ක අද දවසේ වැඩකරනවා. ඒ හුගක් අය ජාතිවාදයට විරුද්ධව වැඩ කරන චරිත. ඒ කියන්නේ අඩු තරමේ යන්තම් හරි ඒ අයට සමාජීය වෙන්න පාර කියල දීල තියෙනවා රොහාන් විසින්. ඒක ඉතාම වැදගත් දෙයක් අද අපි කියල යමක් බිහිවෙන්න සහ අපේ පරම්පරාව ට ජාතිවාදයෙන් ගොඩ එන්න. ඔහුගේ බලපෑම අපේ පරම්පරාව ට අතිශයින් වැදගත් වෙලා තියෙනවා බටහිර ට ගිහින් ඉංග්‍රීසියෙන් දර්ශන වාද හදාරලා ආව අයට වඩා. සමාජ ව්‍යාපාර පැත්තෙන් ඒක ටිකක් අමුතු දෙයක්. ගවේෂණය කලයුතු දෙයක් සහ අපේ පරම්පරාව අමතක නොකළ යුතු දෙයක් හැටියටයි මම දකින්නේ.

1990 දශකයේ හරියට ම අගදී මම එතකොට උයන්ගොඩ ල කරපු ‘ප්‍රවාද’ කියවනවා. ඒ කියවන කොට මට මිෂෙල් ෆුකෝ ගැන කියවන්න ලැබෙනවා. මම ඒ කාලේ මගේ ගුරවරයෙකු ගෙන් ෆුකෝ කියවනවද කියල අහපුවම මට ලැබුන පිළිතුර ‘නැහැ’ කියන එක. එතකොට පිටරට ගිය අයගේ තත්වය ඕක. ඒ අයට අපිට ඇත්තටම ‘උසස් දැනුම’ දෙන්න ඕනි උනේ නැහැ. තියෙන තැනක් වත් කිව්වේ නැහැ.  මෙම සන්ධර්භය තුල රොහාන් කියන්නේ ෆුකෝ කියවල අනෙක් අයටත් ඒක කියවන්න කියල කිව්ව කෙනෙක්. ඒක වෙනස් ‘ආසියාතික’ තත්වයක්. ආසියාතික ආත්මය ප්‍රති-ජීවනය කිරීමක්. එම ආත්මය උසස් තත්වයට ගෙන ඒමක්. එකෙන් තමයි අද දවසේ අපේ පරම්පරාවේ සද්භාවය (ontology) උපදින්නේ කියල මට හිතෙන්නේ. නමුත් අද ස්ත්‍රීවාදය ගැන එක එක ‘අඩවි’ වල ලියන කිසිවෙක් රොහාන් ගේ නම කියන්නේ නැහැ. ඔහුගේ “ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරිඩාව විසංයෝජනය කළ විට…” (ප්‍රවාද 1995: පිටු 97-118) මඟ හැරලා ලංකාවේ ස්ත්‍රීවාදය ප්‍රවාද ගත කරන්න බැහැ අදටත් (ඔහුගේ ලිපියෙන් අවධාරණය කරන බරපතල දෙය නම් ‘මානුෂික වෙන්න’ කියන එක). ඕනිම කෙනෙකුට බැලූ බැල්මට කියන්න පුළුවන් දෙයක් තමයි රොහාන්ගේ ඉහත ‘ස්ත්‍රී පාරභෞතිකය’ නම් ලියමන ලංකාවේ මුල් කෘතියක් (original) කියන එක. ඒක කොපියක් නෙවි. විප්ලවවාදීන් විදියට අප පුරුදු වෙන්න ඕනි එවන් දේවලට ගරු කරන්න. ඒවා නැවත නිර්වචනය කරන්න සහ ඒවාට හිමි ගෞරවය දෙන්න. ඒක විප්ලවීය ආචාර ධර්මයක් (කොහොමත් ජුඩිත් බට්ලර් රොහාන් ගැන ලියන එකක් නැති හින්ද හුගක් ලංකාවේ ‘අලුත් ස්ත්‍රීවාදීන්ට’ රොහාන්ව කවදාවත් මුණ ගැසෙන එකක් නැහැ. පරණ අයටත් ඕනි රොහාන්ව අමතක කරලා දමන්න නිසා මේ අලුත් ස්ත්‍රීවාදී පරම්පරාවට පරණ අය විසින් රොහාන් කියල කෙනෙක් ගැන ඇත්තටම උගන්වන්නේ නැහැ). අමානුෂික විදියට අපි රොහාන් අමතක කරන්නේ අද දවසේ අපේ ගේමට ඔහු අවශ්‍ය නැති නිසා. රොහාන් මේ සියලු දේවල් වෙද්දී නිශ්ශබ්දව ඉන්නවා. ඒ ‘නිශ්ශබ්ද බව’ වඩාත් විප්ලවීයයි (හරියට එක් වරක් ගාන්ධි කළා වගේ). නමුත් අපි බලන්නේ ජුඩිත් බට්ලර් හරි ජිජැක් හරි මාට්ටු කරගෙන මොනවා හරි ටිකක් කියල ඉස්සරහට යන්න. මේ වැඩේට ආයුෂ නැහැ.  මොකද අපි එතකොට ඉන්නේ සත්‍යයට විරුද්ධ දිශාවේ. ඉතිහාසය අපිට කියල දෙනවා ඇත්ත මනුෂ්‍ය ගුණධර්ම නැතුව මොන දේශපාලනයක් කලත් වැඩක් වෙන්නේ නැහැ කියන ටික. ලංකාවේ මුල්වතාවට බටහිර ෆ්‍රොයිඩියානු උපගමනය ට ප්‍රතිපක්ෂව ස්ත්‍රිය සම්බන්දයෙන් වූ ඒ ‘මනුෂ්‍ය බව’ ගැන කතාකරපු, ස්ත්‍රිය තුලින් ‘ආසියාතික බව’ නැවත තේරුම් ගන්න හදපු, ආසියාතික අධ්‍යාත්මය නැවත අලුත් අර්ථයකින් තේරුම් ගන්න හදපු රොහාන් පෙරේරා ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඔහු ක්ෂිතියක්. අද දවසේ ලාබ ස්ත්‍රීවාදයට ඔහුව තරණය කරන්න බැහැ. ඒකයි…

ස්ත්‍රී පාරභෞතික බව නම් රොහාන් පෙරේරා ගේ ‘ප්‍රවාද’ 1995 ලිපිය කියවන්න

පසුව ලියමි : මා මේ සදහන් කරන්නේ පුදුම දෙයක්. ඒ පුදුම දෙය නම් මෙච්චර ස්ත්‍රීවාදීන් වැහි වැහැල ඉන්න රටේ රොහාන් පෙරේරා විසින් ලියන ලද “ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරිඩාව විසංයෝජනය කළ විට…” නම් ලියවිල්ල අන්තර්ජාලයේ කිසිම තැනක උපුටා දක්වල නැහැ (ගූගල් සෙවුම් යන්ත්‍රයට අනුව) මෙම බ්ලොග් අඩවිය විසින් එය සදහන් කරන තෙක්ම (නමුත් එවකට ‘මාතොට’ සඟරාව නම් බොහෝ අවස්ථාවල එම ලිපිය උපුටා දක්වල තියෙනව මම දැකල තියෙනව). සිංහල භාෂාවෙන් අන්තර් ජාලය පුරා ඇත්තේ රොහාන් පෙරේරා කියන නම ඔහේ කියලා දාල විතරයි. ඔහුගේ කතිකාව කවුරුවත් බරපතලව විචාරය කරලා නැහැ (එහෙම නැති තාක් කල් අපිට ඔහුගෙන් ගැලවීමක් නැහැ). ඒ හැම තැනකම තියෙන්නේ ඔහුගේ දේශපාලනය පරණයි, ඒක දැන් ඉවරයි වගේ දේවල්. මෑත කාලයේ කේ. කේ. සමන් කුමාර විසින් කිහිප තැනකදී ඔහු ට හිමි ඓතිහාසික තැන සදහන් කළා පොදු අවකාශය ඇතුලේ. මට පවා ඔහු ගැන නැවත හිතන්න බලකරේ එය විසින්. මට තිබුණ තොරතුරු මත මමත් හිතුවේ ඔහු ඉවර ඇති කියල. නමුත් ඔහු විසින් මෙපමණ චරිත ගණනක් සෘජු ව හෝ වක්‍ර ව නිෂ්පාදනය කළා කියල මම දැනගෙන හිටියේ නැහැ. නමුත් දේශපාලනයෙදී මට ඒ ගැන හොයල බලන්න තිබුණා. මම උනත් හොයල නැත්තේ නරුම තැනකින්. ඒ කියන්නේ අපි දන්නවා එත් නොදන්නවා වගේ ඉන්නවා.

“මිනිස්සු පාරේ නිදාගෙන ඇවිදිනවා …අවදියෙන් ඇවිදින්න”
“කුණු කාණුවෙන් කවුරුවත් වතුර බොන්නේ නැහැ වගේ පහත් සදාචාරයක් (ලෙනින්) දේශනාකලා”
“ගෙදර තියෙනකල් ස්ත්‍රී සිතුවිලි සිරිකතක් වගේ යහපත්”
“ගෙදර සංකීර්ණ ගැහැණු පාරේදී මළමිනී වගේ”
“දර්ශනවාදය පවතින්න පවුල අනිවාර්යයක් නම් දර්ශන වාදය පවතින්න හිස්ටිරියාවඅනිවාර්යයක්” (රොහාන් පෙරේරා).

අපි කරන්න ඕනි රොහාන් ව ප්‍රතික්ෂේප කරලා ඉදිරියට යන එක නෙවි. රොහාන්ගේ උරුමයත් අරගෙන ඒක පෝෂණය කරමින් ඉදිරියට යන එක. ඔහුගේ කතිකාව ප්‍රතික්ෂේප කරන්නේ කුමන න්‍යායික කරුණු මතද? ප්‍රතික්ෂේප කරන්න කිසිවක් ඔහු ලියලා නැහැ. විශේෂයෙන් ඔහුගේ උරුමය එක්ක යන විමුක්ති ව්‍යාපාරයක ට ස්ත්‍රීවාදය සම්බන්දයෙන් වරදින්න හේතුවක් නැහැ. ඔහු ඒක රැඩිකල් විදියට කතා කරලා තියෙනවා බටහිර අය කතාකරනවට වඩා අපේ භූමියට අදාල විදියට. ඔහු බටහිර ස්ත්‍රිය සම්බන්ද කතිකාව ඇත්තටම පෙරදිග අර්ථයෙන් විසංයෝජනය කරනවා.  හරියට බැලුවොත් ඒක නව මාවෝ වාදයකට පාර කපනවා ද විය හැකියි.  ඒ සඳහා අර්ථකතනවේදය වෙත නැවත ගැඹුරින් යා යුතු වෙනවා. කරන්න ඕනි ඒ වගේ වැඩ මිසක් නිකම් කවුරුවත් කියන හින්ද ෆ්‍රොයිඩ් ගේ ‘මෙලන්කොලියාව’ පට්ට ගහන එක නෙවෙයි (එක චැනල් එකක සද්දේ වැඩිනම් තව චැනල් එකක් ටියුන් කරන එක වගේ ‘විමුක්ති ක්‍රියාමාර්ග’ හොඳයි එදා වේල ගොඩදාගන්න). ඒ වගේ බරපතල වැඩ කරන්නේ නැතුව නිකම් ජුඩිත් බට්ලර් ගේ පස්ස පැත්තේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ ‘ඔරිජිනල්’ වැඩ කරන එකයි රොහාන් ගේ සත්‍ය උරුමය…

මහේෂ් හපුගොඩ