සන්නිවේදන ධනවාදය සහ ප්‍රකාශනයේ නිදහස

ලිබරල් ධනවාදය අපට බොහෝ දේ සන්නිවේදනය කිරීමට අවකාශ දී ඇත. වෙනත් විදියකින් කිවහොත් පශ්චාත් ලිබරල් ආර්ථිකය විසින් නව ඩිජිටල් පොදු අවකාශයක් නිර්මාණය කර දී ඇත. ඒ සෑම අවකාශයක ම අයිතිය ආපසු හිමිවන්නේ ඩිජිටල් උපකරණ, මුහුද යට ඔප්ටික් කේබල්, ගුවන්-අභ්‍යවකාශ කැමරා, ඩිජිටල් තිර, අධි සන්නිවේදන උපකරණ, ඩිජිටල් සංඛ්‍යාත වල අයිතිය හොබවන ලිබරල් ධනවාදී වෙළඳපල ටය. මිනිසා වඩ වඩා එකතුවෙමින් සිටින්නේ මෙම ‘නව ප්‍රජාතාන්ත්‍රික අවකාශය’ වටාය. මේ අනුව සන්නිවේදන ධනවාදය (communicative Capitalism) විසින් සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සුන්නත් කර ඇත යන්න ජෝඩි ඩීන් නම් විචාරිකාව පවසයි. අද දවස වනවිට මෙම සන්නිවේදනය කොතරම් ප්‍රබලද යත් එය වාමවාදයේ සිට ආණ්ඩු පෙරළීම දක්වා ඕනෑම දෙයක් සිදුවීමේ ශක්‍යතාවයක් දක්වා අද විහිද ගොස් ඇත. කිසිවෙකුට තමා කරන්නේ කුමක්ද යන්න පිළිබදව මාලිමාවක් නැත. උදාහරණ ලෙස වේගයෙන් වෙනස්වන ෆැන්ටසි ලෝකයක අසීමිත නිදහසක් ඔස්සේ අපි යහපාලනය පෙරළීමට මුහුණු පොත ඔස්සේ එකාවන්ව එක්සිත්ව එකතුවමු. ඒ එකතුව ඔස්සේ අන්ත ජාතිවාදයක් නැවතත් අභිෂේක කිරීමට මාන බලමු. කුණු ගැටළුවේ සිට සයිටම් දක්වා ගැටළු පරාසයක්ද මේ නව සන්නිවේදකයන්ට ඒ සඳහා හමුව ඇත. මහින්දගේ මැයි රැළියේ සෙනග දැක නිර්මාල් වැනි සමහර දේශපාලන විශ්ලේෂකයින් හතර ගාතේ දමා මේ සන්නිවේදන යුගය තුළ බිමට පාත්වී ඇත. ජාතිවාදය ඉදිරියේ ධෛර්ය සම්පන්නව න්‍යායිකව නැගිටිනවා වෙනුවට නිර්මාල්ගේ හදිසි තත්‍යසමාන සන්නිවේදනය ගැඹුරු මෙලන්කොලික බවක් ජනනය කරයි. මෙවන් තීරණාත්මක අවස්ථාවල අපට අවශ්‍ය ජවසම්පන්න මාක්ස්වාදී බුද්ධිමතුන් මිස සෙනග දැක මළානික වන මෙවන් ‘විරාගයේ’ අරවින්ද වන් පරාජිතයින් නොවේ.  මොනතරම් අවුල් වියවුල් තිබුණත් යහපාලනය තවමත් ජාතිවාදය විසින් ගිලගෙන නැත. ගිලගැනීමට හැදුවත් එයට තවමත් හෘද සාක්ෂියක් ඇත (යහපාලන ආගමනය යනු ඊජිප්තුවේ අරගලය මෙන් අසාර්ථක එකක් නොවේ). මේ යුගයේ ධනවාදය අපව පොළඹවන්නේ සන්නිවේදනය දෙසටය. එවිට අප වටේ ඇති ආචාර ධාර්මික අන්තර්ගතය අපට ඩේවිඩ් ලින්ච් ගේ Blue Velvet (1986) චිත්‍රපටයේ මෙන් අමතක වී යයි. කළුවර කාමරයක අශ්ලීල සන්නිවේදනයක සිටින අපට අශ්ලීල බවේ තීව්ර බව විසින් සදාචාරය අමතක කරවනු ලබයි. දඩි බිඩියේ අප යමක් සන්නිවේදනය කිරීමට පෙර ඒ ගැන සිතිය යුතුය.  ජාතිවාදයේ පරාජය සහ ප්‍රබුද්ධ බවේ ජයග්‍රහණය ප්‍රර්ථනා කරන තවත් මිලියන ගණනක් වූ ප්‍රගතිශීලි මිනිසුන් වෙනුවෙන් නිර්මාල් සහ නිර්මාල් ගේ ප්‍රකාශ උපුටා දක්වන ජන මාධ්‍ය වග කියන්නේ කෙසේද?  සන්නිවේදන අන්තර්ගතය (communicative content) සත්‍ය ලෙසම සන්නිවේදනය වන්නේද නැත්නම් එය සේවය කරන්නේ වෙනත් ජාතිවාදී කොටසක අනාගත යහපත සඳහාද යන්න අප සන්නිවේදනය කිරීමට පෙර සිතිය යුතු නොවේද? අදහස් පැතිරවීම මෙම මුහුණු පොත් යුගය තුළ ඉතා පහසු බව නිර්මාල් හොදින් දනී. නමුත් අදහස පැතිර ගියාට (circulation of views) සිදුවන දෙයක් නැත යන්න ඉරාක යුද්ධයේදී ජෝර්ජ් බුෂ් විසින් ලෝකයට කියාදුන් පාඩමයි. සන්නිවේදන යුගය තුළ බුෂ්ට අනුව යුධ විරෝධී අදහසක් යනු තවත් බොහෝ අදහස් අතර තවත් එක අදහසකි. තත්‍ය සමාන අවකාශයේ මිලියන ගණනක් වූ ටෙරා බයිට් අතර තැන්පතු වූ තවත් එක අදහසක් නිර්මාල් දක්වා ඇත (කියවන්න ජෝඩි ඩීන් ගේ Communicative Capitalism:Circulation and the Foreclosure of Politics හි 52 පිටුව). යම් සමාජ කොටසක යුධ විරෝධී අදහස් මගින් බුෂ් ගේ ඉරාක ආක්‍රමණය නැවතුණේ නැත (අප මොන අදහස දැරුවද මහින්ද රෙජීමය යුද්ධය අතහළේ නැත). ඒ මගින් අඩුම තරමේ සංවාදයක් වත් මතුවුනේ නැත. යුද්ධය දිගටම ගලාගිය අතර සමුහ ඝාතක අවි කිසිවක් ඇමෙරිකාව සොයගත්තේද නැත.  නිර්මාල් පන්නයේ මෙම නිර්දේශපාලනික අදහස් වහ වහා පැතිරෙනු ඇති අතර ඒ ඔස්සේ නැවතත් මහින්දවාදීන් බලයට ගෙනෙනු ඇත (නිර්මාල්ගේ අදහස් නිසාම මහින්ද බලයට එන බවක් මින් අදහස් නොකෙරේ). පැවැත්ම වෙනුවෙන් අලුත් අලුත් සමාජ ෆැන්ටසි සොයමින් යන මෙම මාධ්‍ය සංඥා යුද්ධය තුල යහපත් අනාගතයක් වෙනුවෙන් සිතන්නවුන් නොපෙනී යනු ඇත. දේශපාලනයෙන් වියුක්තව කරන මෙම (නො) සන්නිවේදනය තුල අප නැවත වරක් මෝඩයන් විය යුතුද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s